ක්‍රිෂ්මාල් වර්ණසුරිය

BA (Colombo), P Dip. (Hons), LLM (Hons) (London)

කඩවුණු පොරොන්දු:

ඔබ වෙත සුපුරුදු පරිදි එන මේ වසරාවසාන වචන ස්වල්පයට “ආයුබෝවන්” යන අපගේ දෙබඩි තේරුම් ඇති සාම්ප්‍රදායික ආමන්ත්‍රණය මෙවර වෙනදාටත් වඩා උචිත බව හැගේ; ඒ 2017 වසරට සමුදී 2018 වසර පිළිගන්නේ ඉතා චංචල වූ “දෙසිතකින්” වූ හෙයිනි. ඊට මූලික හේතුව 2015 ජනවාරි 8න් අප සොයා ගිය, අද වනතෙක්ම අපට සාක්ෂාත් කරගත නොහැකිව තිබෙන ඒ “වෙනස” අරබයා තව දුරටත් සටන් වදින්නේද? එසේ නැතිනම් එය මේ රත්රන් මව්බිමේ කිසිදා මල්පල නොගැන්වන මිරිඟුවක් ද යන අවිනිශ්චිතභාවය නිසාය. මේ වනවිට අප සැමදෙනාම අවබෝධ කරගත යුතු සත්‍යයක් ඇත; එනම් සාම්ප්‍රදායික පක්ෂ දේශපාලඥයින් (හෝ බොහෝවිට දේශපාලුවන් – “රතු” වේවා, “නිල්” වේවා, “කොළ” වේවා) මේ සෑමදෙනාම පළමුව සොයන්නේ ඔවුන්ගේ පක්ෂයේ හෝ තම පුද්ගල වාසිය මිස අපගේ අයිතීන් නොවන බවය. එමනිසාම අපගේ වටිනා, අන්සතු කල නොහැකි, ව්‍යවස්තානුගත ස්ව-අධිපති බලය අප වෙනුවෙන් පරිහරණය කිරීමට ලබාදෙන ආයතන වලට, ඒ විධායක වේවා, ව්‍යවස්ථාදායක වේවා හෝ අධිකරණ වේවා; නොහොත් එය ප්‍රාදේශීය, නාගරීක, පළාත් හෝ ජාතික මට්ටමේ වේවා; අපට අනුමත කල හැකි, අපට ඍජුව වගකියන (එසේ වගනොකියන්නේ නම් ලෙහෙසියෙන් පන්නා දැමිය හැකි) ක්‍රමයක් ස්ථාපිත කරගන්නා තෙක් මිස, ආණ්ඩුවක් මාරු කර තවත් ඒ වගේම හෝ එම ක්‍රමයම පෝෂණය කරන ආණ්ඩුවක් පත්කරගැනීමෙන් පමණක් අපි සොයන ඒ “වෙනස” කිසිදා අපගේ ජීවිත කාලය තුල ලඟාකරගත නොහැකි බවය!

ප්‍රධාන දේශපාලන ධාරාවන් වූ “නිල්” “කොළ” බල කඳවුරු වලට අමතරව “උනුත් එකයි, මුනුත් එකයි” කියා කෑ මොරදෙන “රතු” කඳවුරු වලට පවා අප සාමාන්‍ය ජනයා සොයන එම “වෙනස” අපට ලබාදීමට තරම් වූ ස්ථිර ප්‍රතිපත්තියක්, වචනයේ නොසැලෙන ස්ථාවර බවක්, ඍජු පෞර්ශවයකින් හෙබි ඇත්ත ඇති සැටියෙන් පවසන නිර්භීත නායකත්වයක් නොමැති බව මේ සෑමදෙනාම විශේෂයෙන් පසුගිය වසර තුල අපට මොනවට පැහැදිලි කොට ඇත. එසේනම් අප මේ නොදකින සිහිනය අමතකකර දමන්නේද? තව දුරටත් එය සෙවීමට විකල්ප ක්‍රමයක් සොයන්නේමුද?

ළඟ එන පුංචි ඦන්දය:

පවතින සමාජ කතිකාවන්, සංශෝදිත පළාත්-පාලන ඦන්ද ක්‍රමය හා මෙවන් ඦන්ද වල ඓතිහාසික ප්‍රතිමූර්තිය එකට ගෙන සලකන කල්හි නෙතට ගැටෙන විශේෂිත කරුණකි: එනම් මෙම ඦන්දයේදී ප්‍රකාශවන ඦන්ද ප්‍රතිශතයේ වෙනස්වීම් රාශියක් අපට දෘශ්‍යමාන වීමට ඉඩ ඇති බවයි, ඉන් ප්‍රධාන වනුයේ:

  1. දේශපාලන විශ්වාසභංගත්වය – මා ඉහත අනුමාන කල පොදුවේ පවතින සමාජ කලකිරීම නිසාම මෙවර වෙනදාට වඩා ප්‍රකාශ වන ඦන්ද ප්‍රමාණයේ, සාම්ප්‍රදායික “රතු”, “නිල්”, “කොළ” ඦන්ද-කුට්ටි (block vote) වල සෑහෙන අඩුවක් දැකගැනීමට හැකිවන බවය. අද හෙට අතිගරු ජනාධිපතිතුමා මහා බැංකු බැඳුම්කරය පිළිබඳ කොමිසන් වාර්තාව ප්‍රකාශයට පත් කළහොත් හෝ ඒ මත පිහිටා ප්‍රධාන දේශපාලන පක්ෂයන්හි නායකත්වයට විරුද්ධව යම් ක්‍රියාමාර්ග වලට එළඹුනහොත් මේ ප්‍රතිශතය තීව්‍ර වනු ඇත;
  2. මනාප පොරය වෙනුවට පුත්ගලීක බව –  තවත් හේතුවක් වනුයේ මෙතෙක් කල් දේශපාලන පක්ෂයක් තුල වූ මනාප-සටනක් පෙරදැරි කරගෙන විශාල ධන-සම්භාරයක් වියදම් කොට පෝස්ටර්, කටවුට්, වලින් තාප්ප පුරවාගෙන, ත්‍යාග බෙදාදෙමින් කල අලෙවිකරණ-සංදර්ශන වෙනුවට සත්‍ය වශයෙන් එම කුඩා කොට්ටාශය තුල දන්නා හඳුනන කෙනාට පමණක් ප්‍රකාශ වන ඦන්දයක් නිසා, එසේ දන්නා හඳුනන කෙනෙක් නැති ස්ථාන වල මහජනයා බොහෝ විට ඦන්දය දීමට යෑම නිෂ්පල ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය;

කරුණු මෙසේ වූ කලි මෙම මහජන ප්‍රතිචාරය රටේ දේශපාලන අනාගතයට බලපාන්නේ කෙසේද යන්න වඩා වැදගත් කරුණක් කොට සලකමු.    

ආර්ථික ගිනි පුපුරු මත දැවෙන දේශපාලන ලැව්ගිනි:

ඓතිහාසිකව සිදුවූ දේශපාලන අරගල පිටුපස ඇති ආර්ථික මූලාරම්භ අමතක කොට ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම නිෂ්පල ක්‍රියාවකි. ලෝක දේශපාලනයේ හිට්ලර් තම නාට්සිවාදී මතය ප්‍රචලිත කරනවායැයි කියමින් රටවල් ආක්‍රමණය කලේ ආර්ථික ප්‍රතිලාභ සඳහාය; පසු කලෙක ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍ය මුල්කරගත් බටහිර ලෝකය වරෙක න්‍යෂ්ටික අවි (WMD) සොයනවායයි කියමින් ඉරාකය ආක්‍රමණය කලේද, පසුව ජාත්‍යන්තර ත්‍රස්තවාදය පරදවා “ප්‍රජාතන්ත්‍රවාදය” එම රටවල් වල ස්ථාපිත කරනවායි කියමින් තෙල් සොයාගියේද ආර්ථික වාසි සඳහාමය. එමෙන්ම මේ රටේ දෙවරක් “කොළඹට කිරි ගමට කැකිරි” කියමින් සිංහල තරුණයා අවි අතට ගත්තේද, උතුරේ එවන්ම පීඩිත වූ තරුණයාගේ කරේ වේලුපිල්ලේ ප්රිපාහරන් සයනයිඩ් කරලක් එල්ලුවේද රටේ ගන්නා දේශපාලන තීරණ වල ආර්ථික වාසිය ඔවුන්ට ගලා ගිය නැති නිසා මිස ඔවුන්ට වෙන වැඩක් නැති නිසා නොව.

අද බොහෝ කූට දේශපාලුවන් මෙම “බලතල-බෙදීම” යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ කුමක්ද? ඒ ඒ ප්‍රදේශ වල “ආර්ථික වාසි” ගැනීමේ දේශපාලන බලය හොබවන්නේ කුමන බල-අධිකාරියද යන ප්‍රශ්නයයි; එය ප්‍රධාන ආණ්ඩුවක් කෙරේ පවත්නේද (එනම් ප්‍රධාන ආණ්ඩුවේ ඉන්නා දූෂිත අමාත්‍ය මණ්ඩලයකට ඩීල් දමා, ටෙන්ඩර් වලින් හොරකම් කොට පොහොසත් වීමට ඉඩ හරිනවාද), නැතහොත් පලාත්බද එවන්ම හොර රැලකට එම වාසිය දෙනවාද යන්නයි; නැතහොත් මහජනයා වූ අපේ පොදු යහපත සඳහාද? අද උදෑසන ප්‍රවෘත්ති වල කියැවුණු සපාඥයේ කැටලෝනියා ප්‍රාන්තයේ උද්ගත වී ඇති ආර්ථික ප්‍රශ්නයම “දේශපාලන අරගල” පිටුපස ඇති මෙවන් “ආර්ථික අවශ්‍යතාවයන්” මොනවට පැහැදිලි කරයි.

විකල්ප ප්‍රතිපත්ති කෝ?

නිදහස ලැබී 70 වෙනි වසර වන 2018 ට ආයුබෝවන් කියා පා තබන අපි, අද වනතෙක් අපි වෙනුවෙන් මේ කිසිම ප්‍රශ්නයක්, අපව නියෝජනය කරනාවයයි පවසන මේ “කොළ, නිල්, රතු” අයවලුන්, විකල්ප සෙවීම පසෙකලා අවම වශයෙන් සාකච්චාවට භාජනය කර ඇත්දැයි විමසීම වටී:

  1. අවම වැටුපක් (minimum wage) – සෑම පිළිගත් රටකම එම රටේ ආර්ථික විචල්‍යන්ට අනුව ගණනයකොටගත් ගෙවීමක් සෑම සේවකයාටම ලැබිය යුතු බව නීතිගත කොට ඇත (minimum pay per hour). මෙය පැය ගණනක් අර්ද-කාලීනව සේවය කරන සිසුවාටද, දවස්-පඩි ගන්නා කම්කරුවාටද, කරපටි පැළඳගෙන සීත කාමරයේ සේවය කරන්නාවූ විධායක නිලධාරියටද, පුද්ගලීක අංශයේ වේවා, රජයේ වේවා, නීතිය විසින් බලපානු ඇත; ඉන් මෙහාට කිසිම කෙනෙක්ට ගෙවීම නීතිය ඉදිරියේ වරදකි! හෙට ඔබගේ මෙම අවම වැටුප ස්ථාවර කිරීමට ඇති නීතිය ඔබගෙන් ඇසුවහොත් එය ඔබට පෙන්විය හැකිද?
  2. අධ්‍යාපන අවම සේවා – කෙනෙක් ඉපදුනු වහාම ඔහුට හෝ ඇයට මූලික මානව අයිතියක් වශයෙන් හිමිවන බවට ලෝකයේ බොහෝ රටවල් පිළිගෙන ඇති පහසුකම්ද අද අපේ රටේ සටන් කොට ලබාගත යුතු ඒවා බවට පත්වී ඇත. එසේත් නැතිනම් “ඇති හැකි” අයවලුන් පමණක් මුදල් වියදම්කොට පුද්ගලීක පාසලකට ළමයාව දමා ගනිත්දී එම හැකියාව නැති දෙමව්පියන්ගේ දරුවා වහල තෙමෙන, හරි හැටි වැසිකිලි පහසුකමක්ද නැති කටු මැටි ගැසූ අධ්‍යාපනයකට හිමිකම් කියයි. එසේත් නැතිනම් කවුරුන් හෝ දේශපාලුවෙක්ව අල්ලාගෙන, ඔහුට හෝ ඇයට බැලමෙහෙවරකම්කොට හොඳ පාසලකට දරුවාව දමාගත යුතු වේ – ඒ ඇයි?
  3. සෞඛ්‍යයේ දෙබඩි සැලකිලි – එසේම තම දුප්පත් වක්‍රබදු මත යැපෙන විශ්වවිද්‍යාල වලට සතයක්වත් නොගෙවා උගත් “වෛද්‍ය පැලැන්තිය” උදේ වරුවේ රජයේ රෝහලේ දී බැනවැදී සැරෙන් කතාකරන දුගී අසරණ රෝගියාටම සමාන “ඇති හැකි” රෝගියෙක් සවස මුදල් දී පුද්ගලීක රෝහලකදී හමුවුවහොත් ඉංගිරිසියෙන් කතාකොට ඉතාම සුහදව පිළිගනී – ඒ ඇයි?
  4. මහාමාර්ග තදබදය / පොදු ප්‍රවාහන – මහා බ්‍රිතාන්‍යයේ හා වෙනත් ආසියාවේම බොහෝ රටවල් වල මාර්ග තදබදයට පිළියම් සොයාගෙන ඇත. ඇල, දොළ, ගංගා බහුල ස්ථාන වල ජලාශ්‍රිත විකල්ප වේවා (ferry services), නගරයේ මාර්ග පද්ධතිය යටින් දිවෙන උමන් මාර්ග දුම්රිය (tube-train systems) හෝ ඉන් උඩින් යැවෙන දුම්රිය, නගර සීමාවන්ට සේවා වේලාවන්හිදී වාහන ගෙනැවීම අධර්යමත් කරන බදු ක්‍රම (congestion charge) වැනි ක්‍රම මගින් මහජනයා පාරවල් වල රස්තියාදුවන කාලය සහ ඒ නිසාම අපතේ යන මිනිස්-පැය ප්‍රමාණය, පුලුස්සන ඉන්ධන ශක්තිය, වායුගෝලය ආක්‍රමණය කරන විෂ වායූන් වැනි දෑ පාලනයකට නතු කරගෙන ඇත. එවන් සමාජයන්හි මාර්ගයේ ඉක්මනට ගමන් කල හැක්කේ ගිලන් රථය තුල පන අදින ලෙඩාට සහ රථ පෙරහැරක් ඉදිරියට දමාගත් දේශපාලුවාට පමණක් නොව – ඒ ඇයි?

ඉදින් මෙම ප්‍රශ්න වලට පිළිතුරු සොයනවා මිස, එසේ පිළිතුරු සෙවීමට හැකියාව ඇති, ඒ සඳහා නීති හැදීමේ සහ ක්‍රියාත්මක කිරීමේ අවම අධ්‍යපනීක සුදුසුකමක්, නිර්ව්‍යාජ සමාජ කැක්කුමක් හා උවමනාවක් ඇති අයවලුන් අප වෙනුවෙන් තීරණ ගැනීමේ ස්ථානයකට ගෙන ඒමේ ක්‍රමයක් සොයනවා මිස  “නිල්”, “කොළ”, “රතු” දේශපාලනක් පසුපස අන්ධභක්තිකව දිවයාමෙන් පලක් තිබෙනවාදැයි ඇසිය යුතු කාලය පැමිණ ඇත.

2018 අප යා යුත්තේ කොයිබටද?

අප සාකච්ඡා කරන මෙම “වෙනස”, විශේෂයෙන්ම අනාගත දේශපාලඥයා “දේශපාලුවෙකු” නොවී මෙම සමාජ අවශ්‍යතාවයන්ට ප්‍රමුකත්වයක් දී කටයුතු කිරීමේ අවශතාවයද, ඒ සඳහා දැන් දැන් අවදි වන සමාජ කතිකාවද සාම්ප්‍රදායික දේශපාලනයටද නොවැටහී නොමැත; මෑතකදී අතිගරු ජනාධිපතිතුමා “මගේ කඩුවෙන් කැපෙන්නේ කවුද” කියා කල ප්‍රකාශය තුල ඇත්තේද මා මේ කරන සාකච්චවට බැඳුනු අර්ථයකි.

අපගේ ස්වාධිපත්‍ය බලය ලබාදී ඇති ආයතන ඉතා සූක්ෂම ආකාරයෙන් ආක්‍රමණ කොට ඇති සියලු දේශපාලන පක්ෂ පිටුපස සැඟවුණු “කල්ලි” සිටිති; ඔවුන් විසින් එකිනෙකා ආරක්ෂා කරගනිති. ඔවුනොවුන්ට තම දේශපාලන සටන් වලදී මූල්‍යමය හෝ අන් ක්‍රමවේදයන් තුලින් ආධාර කරන්නන්ට මිස හෙට දිනේදී ඔබට හෝ මට කැමති දේ එම පක්ෂ නායකත්වයක් තුලින් ද ඉටු වන්නේ නැත. ඔබ සුදුසුයැයි සිතන, යම්කිසි අධ්‍යාපනීක සුදුසුකමක් සහිත, පොදුවේ නායකත්වයට හැකියාවක් ඇති නියෝජිතයෙක්ව, ඔබට ඔබගේයයි කියන දේශපාලන පක්ෂ ලැයිස්තුවට ඇතුලත් කරගැනීමට පුලුවන්ද? එසේ නැත්නම් ඔබට කතිරය ගසා තෝරාගන්න වී ඇත්තේ පක්ෂ නායකත්වය විසින් ඔබ ඉදිරියේ තබන අයවලුන් නොවේද? එසේ නම් පත් වන්නේ ඔබ කැමති කෙනාද, නැතිනම් පක්ෂ නායකයාගේ කෙනාද?

මෑත පැවැත්වූ ප්‍රංශ ජනාධිපතිවරනය මම නැවත උදාහරනයකට ගනිමි. ජනාධිපති සටනේ ඉදිරියෙන්ම සිටි මැක්‍රෝන් හා ලපෙන් යන දෙදෙනාම සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගොස් නව සමාජ/දේශපාලන චින්තනයනයක් ජනතාව ඉදිරියේ තැබුවෝය; ඔවුන්ගේ සමාජ/ආර්ථික ගැටලූන්ට විකල්ප සොයන්නේ කෙසේද යන්න ප්‍රංශ ජනයා ඉදිරියේ තැබුවෝය; එම ජනතාව නිර්පාක්ෂික වූ මැක්‍රෝන් ව තොරාගත්තෝය. දැන් දැන් කැනඩාව, ජර්මනියේ සමහර කොටස් සහ යුරෝපය තුලම මේ දේශපාලන විප්ලවය ඇවිලෙමින් පවතී; පක්ෂය නොව, පුද්ගලයා මත තම ස්වෛරී විශ්වාසය තැබීමට මේ ජනයා කෙමෙන් කෙමෙන් උත්සුක වන්නෝය.

අපද අපගේ දේශපාලන තීරණ කොළ, නිල් හෝ රතු කන්නාඩි තුලින් නොබලා, ඉන් පරිබාහිරව “පක්ෂය සරණං ගච්චාමි” මාර්ගය  හැරෙන්නට වෙනත් විකල්පයක් සෙවීමේ කාලය තවමත් එළඹි නැත්ද? නව මාවතකට එළඹි නව චින්තනයක් හා විකල්පයක් සෙවීමටත්, ඒ තුලින් මේ රත්‍රන් පොළොවේ ශ්‍රේෂ්ට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ගොඩනැගීමට පළමු පියරවත් මෙම නව වසරේ ගැනීමට අපට පුළුවන්කම ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඔබට 2018 වසරේ ජයෙන් ජය පතමි!!!

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *